"පතලේ භාෂාව" - මැණික් වචන කෝෂය
මෙන්න "පතලේ බාසාව" ලිපි මාලාවේ තුන්වන සහ අවසාන කොටස.
මෙම කොටසින් අපි අවධානය යොමු කරන්නේ ගලක "නිමාව සහ පෙනුම" (Finish & Appearance) විස්තර කිරීමට භාවිතා කරන වචන වෙතයි. මෙම වචන දැන සිටීම, විශේෂයෙන්ම ගල් කැපීමේදී (Lapidary) සහ ගලක් ඔප දැමූ පසු එහි වටිනාකම තක්සේරු කිරීමේදී ඉතා වැදගත් වේ.
නාවර (Nawara)
බොහෝ රළු ගල්වල මතුපිට හෝ පැලුම් අස්සේ තද දුඹුරු/රතු පැහැති මඩ හෝ යකඩ කහට බැඳී තිබේ. මෙය "නාවර" ලෙස හඳුන්වයි.
වැදගත්කම: සමහර නාවර ඇසිඩ් දැමූ විට (Acid Wash) ඉවත් වේ. නමුත් සමහර නාවර ගල ඇතුළටම කා වැදී ඇත. ගලක් ගැනීමට පෙර "මේ නාවර යයිද?" කියා තීරණය කිරීම ඔබේ පළපුරුද්දයි.
දියම / දිය (Diyama)
මෙය මැණිකක ඇති "ජීවය" යි. ගලක වර්ණය කොච්චර හොඳ වුනත්, එහි දීප්තිය (Luster) සහ පාරදෘශ්‍යභාවය (Transparency) අඩු නම් "දියම මදි" යැයි කියයි.
"දියම හොඳයි" කියන්නේ ගල වීදුරුවක් මෙන් පිරිසිදු සහ දීප්තිමත් බවයි.
පට්ටම් (Pattam)
ගලක් කපන විට එහි ඇති මුහුණත් (Facets) වලට "පට්ටම්" යැයි කියයි. "පට්ටම් ගහනවා" කියන්නේ ගල කපනවා කියන එකයි. ස්වභාවික ගලක වුවද ස්වභාවිකව පිහිටි පැතලි මුහුණත් "පට්ටම්" ලෙස හඳුන්වයි.
පුස් (Puss/Pussa)
ගලක් ඇතුළේ ඇති ඉවත් කළ නොහැකි සුදු පැහැති වළාකුළු වැනි ස්වභාවයයි. මෙය ගලෙහි දීප්තිය (දියම) අඩු කරයි. පුස් ඇති ගල්වල වටිනාකම ඉතා අඩුය. "ගල පුස් කාලා" යැයි කියන්නේ ගල ඇතුළත අපැහැදිලි බවයි.
තැරැප්පුව (Tharappuwa)
මෙය ගල් කපන අයට වැදගත් වචනයකි. කැපූ මැණිකක යට කොටස (Pavilion) "තැරැප්පුව" ලෙස සමහර ප්‍රදේශවල හඳුන්වයි. "තැරැප්පුව ගැඹුරුයි" කියන්නේ ගලේ යට කොටස ලොකු වැඩි බවයි (එවිට බර වැඩියි, නමුත් පෙනුම අඩු විය හැක).
මේ වචන භාවිතා කරමින් ඊළඟ වතාවේ රත්නපුරේ ගියහම පතල් කරුවන් එක්ක කතා කරලා බලන්න. වෙනස ඔබටම තේරේවි!
සැකසුම: අසංග ගුණතිලක
