මැණික් ගලක නියම වටිනාකම තීරණය කරන්නේ "වාසනාව" ද? නැතහොත් "මැණික් විද්‍යාව" ද?
බොහෝ පතල් හිමියන් සහ කුඩා පරිමාණ මැණික් ව්‍යාපාරිකයින් තමන්ට ලැබුණු ගලෙහි වටිනාකම තීරණය කරන්නේ දළ අනුමානයෙනි. නමුත් ජාත්‍යන්තර වෙළඳපොළේදී ගලක මිල තීරණය වන්නේ ඉතා නිශ්චිත මිමි 04 ක් මතය. එය 4Cs ලෙස හැඳින්වේ.
ඔබේ අතේ ඇති ගලට කියන මිල නොව, "Market" එකේ නියම මිල ලබා ගැනීමට නම් පහත දැක්වෙන සාධක 04 ගැන තාක්ෂණික අවබෝධයක් තිබීම අනිවාර්ය වේ.
1 Color (වර්ණය) - රජු කවුදැයි තීරණය කරන සාධකය
ජාත්‍යන්තර වෙළඳපොලේ නිල් මැණික් (Blue Sapphire) සඳහා ඉහළම මිලක් ලැබෙන්නේ හුදෙක් "නිල්" වූ පමණින් නොවේ. එහි ගුණාංග 3ක් තිබිය යුතුය:
- Hue (ප්‍රධාන වර්ණය): නියම නිල් මැණිකක් නම් එහි දම් පාට හෝ කොළ පාට මිශ්‍ර නොවූ බවත් "කටරොඩු මලේ" (Cornflower Blue) හෝ (Royal Blue) පැහැය තිබිය යුතුය.
- Tone (පැහැයේ ගැඹුර): ගලෙහි පාට ඕනෑවට වඩා කළු (Dark) නොවිය යුතු අතර, ඕනෑවට වඩා ලා (Light) නොවිය යුතුය. මධ්‍යස්ථ අඳුරු බවක් (Medium-dark tone) තිබීම අත්‍යවශ්‍ය වේ.
- Saturation (වර්ණයේ තීව්‍රතාව): වර්ණය "මැරුණු" ස්වභාවයෙන් තොරව, විචිත්‍රවත් (Vivid) එකක් විය යුතුය.
2 Clarity (පිරිසිදුකම/පැහැදිලි බව) - ඇතුළත පවතින තත්වය
මැණික් ගලක් ඇතුළත ඇති දෝෂ (Inclusions) එහි වටිනාකමට සෘජුවම බලපායි.
- Eye-Clean: සාමාන්‍ය පියවි ඇසට පෙනෙන දෝෂ, පැලුම් හෝ "බුබුළු" (Bubbles) නොතිබීම ඉතා වැදගත්ය.
- Silk (සිල්ක්/දැල): ලංකාවේ මැණික්වල විශේෂත්වය වන්නේ සියුම් "සිල්ක්" එකක් තිබීමයි. රත් කිරීමට (Heat Treatment) බලාපොරොත්තු වන ගෙවුඩ ගල් සඳහා මෙම "ඩීසල්" හෝ "සිල්ක්" අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් කැපූ ගලක මෙම දෝෂ තිබීමෙන් එහි දීප්තිය අඩු වේ නම් මිල පහත වැටේ.
3 Cut (කැපුම)
පතල් කරුවාගෙන් ලැබෙන ගලෙහි උපරිම බර (Weight Retention) ලබා ගැනීමට බොහෝ විට ගල් කපන්නන් උත්සාහ කරයි. නමුත් ජාත්‍යන්තරයේදී වැදගත් වන්නේ බරට වඩා "දීප්තියයි" (Brilliance).
- Windowing: ගල මැදින් එහා පැත්ත පෙනෙන පරිදි ගල කපා තිබීම ගලෙහි වටිනාකම 50% කින් පමණ අඩු කිරීමට හේතු වේ.
- Symmetry (සමමිතික බව): ගලෙහි මුහුණත් (Facets) නිවැරදි කෝණවලට කපා තිබීමෙන් ආලෝකය පරාවර්තනය වී ගලට නියම වටිනාකම ලැබේ. නිවැරදි කැපුමක් නොමැති 5ct ගලකට වඩා, හොඳම කැපුමක් (Precision Cut) ඇති 3ct ගලක වටිනාකම ලබා ගත හැකි වේ.
4 Carat Weight (කැරට් බර) - මිල ගුණ කරන සාධකය
බර වැඩි වන විට මිල වැඩි වන්නේ සාමාන්‍ය අනුපාතයකට (Linearly) නොව ඝාතීය (Exponentially) ලෙසය.
උදාහරණයක් ලෙස: 1ct ගලක කැරට් එකක මිල රු. 100,000 ක් නම්, එම ගුණාත්මකභාවයම ඇති 2ct ගලක කැරට් එකක මිල රු. 100,000 නොව රු. 2,00,000 ක් හෝ ඊට වැඩි විය හැක. මන්ද විශාල, පිරිසිදු ගල් සොයා ගැනීම ඉතා දුර්ලභ බැවිනි.
ඔබ ළඟ ඇති කපා ඔප දැමූ හෝ රළු ගල් (Rough Stones) විකිණීමට පෙර, මෙම 4C ගැන ඔබ හොදින් දැන ගෙන සිටින්න.
